Thursday, March 26, 2020

ඩෙල්ෆ් දූපත ගමන | Delft Island | Jaffna

ඩෙල්ෆ් දූපත ගමන | Delft Island | Jaffna



ලංකාවේ ඩෙල්ෆ්ට් දිවයින ද කලක් වර්තමාන නෙදර්ලන්තය හෙවත් එදා ඕලන්දය යටතේ පාලනය වූ දූපතකි. නාවික හමුදාවෙන් නැදුන්තාරකී සහ වඩතාරකි යන විශාල බෝට්ටු දෙක මගින් වරකට සියයකට වඩා වැඩි සෙනගක් දූපත වෙත ප්‍රවාහනය කිරීමට හැකි ය. එම බෝට්ටු දෙක ද ඇතුලුව කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ඩෙල්ෆ්ට් දක්වා ළඟාවන බෝට්ටු වාර පහක් පමණ ක්‍රියාත්මක වේ. පැය 0800, 0930, 1330, 1500, හා 1600 යන වේලාවන් වලට කුරිකඩ්ඩුවාන් ජැටියෙන් ඩෙල්ෆ් දූව කරා බෝට්ටු ගමනේ යෙදේ. ඩෙල්ෆ් සිට කුරිකඩ්ඩුවාන් කරා පැය 0630, 0730, 1130, 1430, හා 1600 යන වේලාවන් වලට බෝට්ටු ගමන් වාර ඇත. එම බෝට්ටු ගමන පැයකට ආසන්න ගමනකි.


මෙම බෝට්ටු ගමන් ආරම්භ කරන්නේ නාගදීපයට බෝට්ටු පිටත් වෙන ජැටිය වන කුරිකඩ්ඩුවාන් ජැටියෙනි. යාපනය නගරයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වාම තරමක වේගවත් බස් සේවාවක් ඇති අතර යාපනයේ සිට ඇති කිලෝමීටර 33ක දුර පැයකින් පමණ නිමකිරීමට ඒ බස් සේවාව සමත් වේ. නැතහොත් යාපනය දෙස සිට වාහනයකින් වුවද කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත පිවිසීමේ අවස්ථාව තිබේ. ඩෙල්ෆ්ට් දූපතේ වතුර නම් හිඟ ය. වතුර සපයාගන්නා ලිං පිහිටා ඇති අතර ඇතැම් ලිං වල ඇත්තේ තරමක් කටුක රසින් යුත් කිවුල් ජලය වේ. ඩෙල්ෆ්ට් වල කෑම ලබාගැනීමට කුඩා ආපන ශාලාවක් ඇති අතර එයින් ෆ්‍රයිඩ් රයිස් ලබාගත හැකි ය. දූපතේ තරමක් සොයා බැලුවොත් තල් රා ටිකක් ද සොයාගත හැකිය. තල් රා බෝතල් දෙක රුපියල් 150ක් තරම් අඩු මිලට අලෙවි වන කාලයන් ඇති බැව් අප සමග සම්බන්ධ වූ දූපත් වැසියෙකු පැවසීය.
දූපතේ එක කොනක සිට අනෙක් කොණට ඇතැම් තැනක දී කිලෝමීටර 10කට වඩා වැඩිය. එබැවින් ඓතිහාසික ස්ථාන නැරඹිමට ත්‍රීරෝද රියක් හෝ මහේන්ද්‍රා වර්ගයේ කැබ් රථයක් යොදාගැනීම පහසු ය. කැබ් රියක් නම්, 10-12 දෙනෙකුට නැග යා හැකි මට්ටමේ එකක් පැය කිහිපයක දූපත වටා සවාරියකට රුපියල් 3000, 4000 අතර මිලකට කුලියට ගත හැකිය. ත්‍රී රෝද රියකින් නම් රු 1500/=කට දූපතේ ඇති වැදගත් ස්ථාන නැරඹීමට යා හැකිය. යම් තාක් දුරකට සිංහල වදන් කිහිපයක් කතා කිරිමේ හැකියාව දූපතේ ඇතැම් දෙමළ වැසියන්ට තිබේ. ඔවුහු බොහෝ දෙනා මිත්‍රශීලී ය
මන්නාරමේ ඇති බෝබ් ගසට වඩා තරමක් කුඩා මුත් මේ දූපතේ ඇති බෝබ් ගස මිනිසුන් දෙදෙනකුට ඇතුලේ රිංගා වැස්සට නොතෙමී සිටිය හැකි තරම් විශාල කුහරයකින් යුක්ත එකකි. බෝබ් ගස තුලින් අරාබි වෙළඳුන් මේ දූපත හරහා ද සිය වෙළහෙළඳාම් සිදුකරන්නට ඇති බැව් නිගමනය කළ හැකි ය. බෝබ් ගස අප්‍රිකාවෙන් සැදී නාවුක මාර්ග ඔස්සෙ වර්ෂ 1000ක් තරම් මෑත කාලයේ ලංකාව සහ ඉන්දියාවේ නාවුක මාර්ග අසල නගරවලට සංක්‍රමණය වූ වෘක්ෂයකි.
යටත් විජිත සමයේ දී අශ්වයන් ද සිටි අශ්ව ගාල් සහ බලකොටු ආදිය තවමත් නටඹුන් ලෙස දූපතේ ඉතිරිව තිබේ. ලන්දේසි ඉංග්‍රීසි සමයේ පණිවුඩ හුවමාරුවට භාවිතා වූ පරවියන් ගබඩා කරන කුළුනක් සහිත පැරණි රෝහල් ගොඩනැගිල්ලක් ඇතුළු නටඹුන් ද විශාල බිත්ති සමගින් තවමත් ඉතිරිව තිබේ. ආදම්ගේ පිය සටහන ලෙස සැලකෙන හුණු ගල් තට්ටුව මත සාමාන්‍ය මනුෂ්‍ය පාදයකට වඩා තුන් හතර ගුණයක් විශාල පා සටහනක් ද ඩෙල්ෆ්ට් හි දී දැකගත හැකි ය. ලංකාවේම දූපතක් ලෙස තිබෙන ඩෙල්ෆ්ට් තරමක් කටුක කර්කශ දූපතකි. එහෙත් එහි ඇවිද ඒ අසිරිය විඳගැනීම යනු තවත් එක් අත්දැකීමකි. අලුත් අත්දැකිම් සොයායන නවීන සංචාරක පරපුරට ඩෙල්ෆ්ට් යනු තවත් සළකුණු කළ යුතුම සන්ධිස්ථානයකි.




Monday, March 16, 2020

නකල්ස් දූවිලි ඇල්ල | Knuckles - Duwili Ella Trail

දුම්බර මිටියාවේ දූවිලි ඇල්ල සොයා ගිය ගමනේ වීඩියෝව  ↓

නකල්ස් කදු වැටියේ තරමක් දුෂ්කර ගමනාතයක් වු දූවිලි ඇල්ල සොයා මාර්තූ 8 වන දින අළුයම 1ට පමණ කෑගල්ලෙන් ගමන ආරම්භ කලා. මාතලේ සිට තරමක් දුෂ්කර මාර්ග වුවත් දැඩි නිදිමත සමග සටන් වදිමින් අපට අළුයම 5 පමණ වන විට ඇටන්වල ගම්මානයට ළගාවීමට හැකි වුණා.

අපගේ ගමනේ මාර්ගය පෙන්වන්නා වු අමරසිංහ මාමා හට පෙ.ව. 6.00ට පමණ අප ඇටන්වල එන බව කලින් පවසා තිබුණ නිසා තෙල්ගමු ඔයේ වැද්දාපැනි ඇල්ල ප්‍රදේශයේ වාහන නවතා පැයකට අඩු කාලයක් ඇස පියවගන්න නිදහසක් ලැබුණා.
උදෑසන 6 ට පමණ ඉතා අමාරුවෙන් නැගිටිමින් නැවතත් ඇටන්වල
පන්සල ළග යන්න පිටත් උනා. කි.මී 1 පමණ ගමන් කොට වාහනය නැවැත්වීමට ඇති වත්තේ වාහන දෙක නවතා අමරසිංහ මාමා සමග ගමන ආරම්භය කලා.
කණ්ඩායමේ 8 දෙනෙකුගෙන් සමන්විත වූ අතර හිස්බඩ ගමන ආරම්භය කළ නිසා උදෑසන ආහාරය ගන්න දැඩි උවමානවක් තිබුණු අපට කි.මි බාගයක් දුර ගොස් අපගේ උදෑසන ආහාරය ලබා ගැනීමට සිදුවුණා.
ඉන්පසු නැවතත් ගමන ආරම්භ කළ අප, යන මාර්ගයේ අලියෙකුගේ පාද සටහනක් දකින්නට ලැබුනා. මාමා සදහන් කළ පරිදි එය පෙර දවසේ තිබු අඩි සළකුණුය.
ගමනේ කි.මි. 3/4 පමණ පැමිණි විට වල්පොල්ලමුල්ල වැව කරා ළග වූ අපට දකින්න ලැබුනේ තණකොළ යායක් පමණි. වියළි කාලගුණය නිසා වල්පොල්ලමුල්ල වැව සම්පුර්ණයෙන් සිදිගොස් තිබුණා.

මෙලෙස කි.මි. 5/6 ගමන් කළ විට අපට නුගතලා ඇල ළග ගමන් මහන්සි සදහා පොවි විවේකයක් ලබගත්තා. නුගතලා ඇළේ ගලා යන ජලය පානය කොට මුහුණ සෝදගත් අපි ගමන් විඩාව කොහෙගියාද කියා සිතාගන්න නොහැකි විය.

නැවතත් ගමන් ආරම්භ කළ අපිට ටික දුරක් යනවිය අංශක 70 ක පමණ ආනතියක් පහළට ගමන් කිරීමට සිදුවිය. නමුත් ඒ වෙලාවේ අපට නැවත එන විට මෙය නැගිය යුතුයි කියා මතක්වෙන විට කකුල් වෙවුලන්න වුණා. මෙලෙස මුළු කි.මි. 9/10 ගමන් කල විට කුඩා ඔය අපට හමුවුණා..අපගේ දෙවන ගිවන් නිවන ස්ථානය වූයේ මේ කුඩා ඔයයි.


ඔය හරහා එගොඩට ගමන් කළ අපට තරමක් සුන්දර කැලයක් මැදින් ගමන් කිරීමට හැකි වූ අතර ඒ අතරමග විශාල මාරගසක් හමුවිය.

ගමනේ දිවා ආහාරය අප ලබාගත්තේ දුම්බර ඇල්ල ළගට පැමිණි පසුවය..එවිට වේලාව ප.ව. 3.00-4.00 පමණ වී තිබුණා.දුම්බර ඇල්ල වටා තිබුනේ කුඩාරම් ලෝකයකි.

දිවා ආහාරය ගෙන නැවතත් ගමන් ආරම්භය කළ අප ඊළග අරමුණ වූයේ කලුවර වැටෙන්න කලින් කුඩාරම අටවාගැනීමයි. එදා සති අන්තයේ දවස් 3ක නිවාඩුවක් හින්දා දුවිලි ඇල්ල ආසන්නව ඉඩ නොමැති වෙයි සිතූ අපි කළුදිය පොකුණ ගාව අපේ කුඩාරම අටවා නා ගැනීමට සුදානම් වුණා.

අධික සීතලේ ජලය ස්නානය කොට කුඩාරම පැමිණි අප රාත්‍රී ආහාරය පිළියෙල කොට තරමක් වෙලාසනින් ආහාරගෙන නින්දට ගියේ පසු දින පාන්දරම දුවිලි ඇල්ල වෙත ළගාවන අරමුණින්‍ ය. සිතු තරම් සීතල් නොතිබුණු අතර පාන්දර 4:30 පමණ ඇහැරුණු අප 5:30 පමණ විදුලි පන්දම් සමග නැවත ගමන ආරම්භ කලේය.
උදෑසන 6:30 වන විට Infinity Pool වෙත ළගා වූ අපි එහි පැයක පමණ කාලයක් ජයාරූප ගැනීමට අමතක කලේ නෑ. 



නැවතත් ඉහළටම ගමන් කළ අපිට දුවිලි ඇල්ලට ළගා වීමට තවත් විනාඩි 20 පමණ ගත වුණා. දුවිලි ඇල්ල පිහිටන ගල්ගුහාව වෙත පැමිණි අපි දෑස් නොසෙල්වා බලාසිටියේ අවට පරිසරේ සුන්දරත්වයයි. වර්ෂාව තරමක් අඩු නිසා දුවිලි ඇල්ලේ තරම් අඩු ජල ප්‍රමාණයක් තිබුණද එයින් ජල ස්නානය කිරිමට පින තිබිය යුතුය. මන්ද එතරම් පිරිසිදු ජලයක් සහ එතරම් මනරම් දර්ශනයක් නරඹමින් ස්නානය කිරිම වෙන කිසි තැනක් නැත.


නැවත කුඩාරම් සවිකළ කළුදිය පොකුණ වෙත ආ අප දිවා ආහාරය ද ගෙන මතකයන් පමණක් රැගෙන කළුදිය පොකුණෙන් පිටත් වුණා. නැවත ඇටන්වලට පැමිණෙන විට රාත්‍රී 8.00 පමණ වූ අතර අමරසිංහ මාමා ගේ ගෙදරින් ලැබු උණු උණු පේන්ටී එක නැවත ගෙදර බලා ඒමට ජීවයක් දුන්නා...