ඩෙල්ෆ් දූපත ගමන | Delft Island | Jaffna
මෙම බෝට්ටු ගමන් ආරම්භ කරන්නේ නාගදීපයට බෝට්ටු පිටත් වෙන ජැටිය වන කුරිකඩ්ඩුවාන් ජැටියෙනි. යාපනය නගරයේ සිට කුරිකඩ්ඩුවාන් ජැටිය දක්වාම තරමක වේගවත් බස් සේවාවක් ඇති අතර යාපනයේ සිට ඇති කිලෝමීටර 33ක දුර පැයකින් පමණ නිමකිරීමට ඒ බස් සේවාව සමත් වේ. නැතහොත් යාපනය දෙස සිට වාහනයකින් වුවද කුරිකඩ්ඩුවාන් ජැටිය වෙත පිවිසීමේ අවස්ථාව තිබේ. ඩෙල්ෆ්ට් දූපතේ වතුර නම් හිඟ ය. වතුර සපයාගන්නා ලිං පිහිටා ඇති අතර ඇතැම් ලිං වල ඇත්තේ තරමක් කටුක රසින් යුත් කිවුල් ජලය වේ. ඩෙල්ෆ්ට් වල කෑම ලබාගැනීමට කුඩා ආපන ශාලාවක් ඇති අතර එයින් ෆ්‍රයිඩ් රයිස් ලබාගත හැකි ය. දූපතේ තරමක් සොයා බැලුවොත් තල් රා ටිකක් ද සොයාගත හැකිය. තල් රා බෝතල් දෙක රුපියල් 150ක් තරම් අඩු මිලට අලෙවි වන කාලයන් ඇති බැව් අප සමග සම්බන්ධ වූ දූපත් වැසියෙකු පැවසීය.
දූපතේ එක කොනක සිට අනෙක් කොණට ඇතැම් තැනක දී කිලෝමීටර 10කට වඩා වැඩිය. එබැවින් ඓතිහාසික ස්ථාන නැරඹිමට ත්‍රීරෝද රියක් හෝ මහේන්ද්‍රා වර්ගයේ කැබ් රථයක් යොදාගැනීම පහසු ය.
කැබ් රියක් නම්, 10-12 දෙනෙකුට නැග යා හැකි මට්ටමේ එකක් පැය කිහිපයක දූපත වටා සවාරියකට රුපියල් 3000, 4000 අතර මිලකට කුලියට ගත හැකිය.
ත්‍රී රෝද රියකින් නම් රු 1500/=කට දූපතේ ඇති වැදගත් ස්ථාන නැරඹීමට යා හැකිය. යම් තාක් දුරකට සිංහල වදන් කිහිපයක් කතා කිරිමේ හැකියාව දූපතේ ඇතැම් දෙමළ වැසියන්ට තිබේ. ඔවුහු බොහෝ දෙනා මිත්‍රශීලී ය
මන්නාරමේ ඇති බෝබ් ගසට වඩා තරමක් කුඩා මුත් මේ දූපතේ ඇති බෝබ් ගස මිනිසුන් දෙදෙනකුට ඇතුලේ රිංගා වැස්සට නොතෙමී සිටිය හැකි තරම් විශාල කුහරයකින් යුක්ත එකකි. බෝබ් ගස තුලින් අරාබි වෙළඳුන් මේ දූපත හරහා ද සිය වෙළහෙළඳාම් සිදුකරන්නට ඇති බැව් නිගමනය කළ හැකි ය.
බෝබ් ගස අප්‍රිකාවෙන් සැදී නාවුක මාර්ග ඔස්සෙ වර්ෂ 1000ක් තරම් මෑත කාලයේ ලංකාව සහ ඉන්දියාවේ නාවුක මාර්ග අසල නගරවලට සංක්‍රමණය වූ වෘක්ෂයකි.
යටත් විජිත සමයේ දී අශ්වයන් ද සිටි අශ්ව ගාල් සහ බලකොටු ආදිය තවමත් නටඹුන් ලෙස දූපතේ ඉතිරිව තිබේ. ලන්දේසි ඉංග්‍රීසි සමයේ පණිවුඩ හුවමාරුවට භාවිතා වූ පරවියන් ගබඩා කරන කුළුනක් සහිත පැරණි රෝහල් ගොඩනැගිල්ලක් ඇතුළු නටඹුන් ද විශාල බිත්ති සමගින් තවමත් ඉතිරිව තිබේ.
ආදම්ගේ පිය සටහන ලෙස සැලකෙන හුණු ගල් තට්ටුව මත සාමාන්‍ය මනුෂ්‍ය පාදයකට වඩා තුන් හතර ගුණයක් විශාල පා සටහනක් ද ඩෙල්ෆ්ට් හි දී දැකගත හැකි ය.
ලංකාවේම දූපතක් ලෙස තිබෙන ඩෙල්ෆ්ට් තරමක් කටුක කර්කශ දූපතකි. එහෙත් එහි ඇවිද ඒ අසිරිය විඳගැනීම යනු තවත් එක් අත්දැකීමකි. අලුත් අත්දැකිම් සොයායන නවීන සංචාරක පරපුරට ඩෙල්ෆ්ට් යනු තවත් සළකුණු කළ යුතුම සන්ධිස්ථානයකි.








No comments:
Post a Comment